පල්ලේගම හේමරතන හිමිට කරුණාවෙන් ලියමි: "සිවුර ගලවා ගිහිගෙට යනු මැනවි!"
අසම්මතයේ සහ සමාජ වගකීමේ බිඳවැටීම පිළිබඳව විවෘත සංවාදයක්...
අනේ හේමරතන, ඔබ මීට වසර හැටකට විතර පෙර ඔය පිරිසිදු කහ සිවුර දරා ගන්න ඇති. කන්න බොන්න තිබුණත්, ධර්මය කොතෙක් ඉගෙන ගත්තත්, ඔබගේ හිත ඇතුළේ මහා අඩුවක්, තැල්මක්, රිදුමක් වගේම පලිගැනීමක් ලියලමින් තියෙන්න ඇති. අපි දැන් අහන විදියට ඔබේ ලොකු හාමුදුරුවරු කරපු සමහර නොගැළපෙන ලිංගික ඇසුරවල් ඔබ ඒ දවස්වල විමතියෙන් බලාගෙන ඉන්නට ඇති. සමහර විට ඔබත් අසම්මත ලිංගික හිරිහැරවලට ගොදුරු වෙලත් ඇති.
කොහොමහරි ඔබ, ඔබේ ගොදුර ඔබට හමුවෙනතුරු යටිහිත පෙලූ ආශාවෙන් නොයිවසිල්ලෙන් ඉන්නට ඇති.
මල් කැකුළක් තලා දැමූ අධි රාගී සිත
අවුරුදු එකොලහක පුංචි දියණියක්, සිරුරින් සහ මනසින් වැඩුණු රූ සපුව සහිත ගැහැණියක් ලෙස ඔබට පෙනෙන්ට ඇති. කටේ කිරි සුවදවත් පහව ගොස් නොතිබූ ඒ අහිංසක මල් පොහොට්ටුව නටුවෙන්ම කඩා පොඩි කර දමන්නට ඔබේ අධි රාගී සිත ඔබට බල කරන්නට ඇති. සම්මා සම්බුදු හිමියන් දේශනා කළ ධර්මය ඔබට අර හේනක පිච්චී විකෘති වී ගිය වැදිරිය සේ පෙනෙන්ට සහ සිතෙන්නට ඇති.
අටමස්ථානයේ අධිපති වූද, මහා ධනස්කන්ධයක හිමිකරු වූද, රටේ සෑම පාලකයෙක්ම දණ බිම හොවා වදින පුදන බලවතෙක් වූද, ඔබට එරෙහිවන ජනතාවක් නොවේමය යන්න ඔබට සිතෙන්නට ඇති. පව්කාර, ජාගර වූ ක්ලේෂ සිත කහ සිවුරේ අරුත පරදවා අර අහිංසක මල් කැකුල තලා පොඩි කර දමනතුරුම ඔබට වද දෙන්නට ඇති.
රිදුම් දෙන විශ්වාසය සහ බලයේ අන්ධකාරය
අටමස්ථානයේ ලොකු සාධු, හීනෙන් වත් පව් නොකරන සාධු, සංවර ගමනින් වඩින සාධු, උදේ හවස බුදු බණ දෙසන සාධු, උඩ මළුවේද, යට මළුවේද පිරිත් දෙසන සාධු, මහා පාන්දර බුදු සමිදුන්ට කිරි පිඩු පුදන සාධු, රටේ මහා බලවතාගේ සිට පුංචි දරුවා දක්වා පිරිත් නූල් බදින සාධූ, බණ පොත් වනපෙත් කර අපට අමා මහා නිවන් සුව පතා ඒවා දෙසන සාධු... මෙන්න මේ මනස්ගාත වලින් හිත පිරී තිබුණ ඒ අහිංසක බොළදිය ඔබව විශ්වාස කරන්නට ඇති.
ඉතිං ඇයගේ විශ්වාසයම උඹේ ගොදුර ලෙහෙසියෙන් ම ඩැහැගන්නට ඔබට මහා අවියක් වෙන්නට ඇති. ඔබගේ ආවාස ගෙට ඇයට එන්නට කියන කළ අවිශ්වාසය නම් මිතුරා ඇය අසලකවත් හිදින්නට නැතිව ඇති. ඒත් ඔබ සිවුර අස්සේ යක්ෂයකු අවදි වී සිටි බව නොදත් මේ බොළද දැරිය විශ්වාසය පමණක්ම තබා ඔබේ කුටියට එන්නට ඇති. ඉතිං ඉතාම පහසුවෙන් අල්ලා ගත් ගොදුර හැකි කාලයක් ඔබේම කොට ගනිමින්, රහසේ වළදන්නට ඔබ අදිටන් කරන්ට ඇති.
දුප්පත්කම සහ අසරණකම සූරාකෑම
රුපියල් ලක්ෂයක් යනු හීනයක්ම වූ දැරියගේ අම්මාව නෝට්ටු කඩදාසි වලින් වසග කරන්නට ඔබට පහසු වෙන්නට ඇති. හේතුව මුළු මහත් ලංකාවේම දායකයන් ඔබ පංසලට පුදන මිල මුදල් මේ වැනි ආශාවන් සංතර්පනය කර ගන්නට ඔබට බාධා ඇති නොකරන බැවිනි. අනෙක් අතින් මිහි පිට අම්මා කෙනෙකු නොකරනවා යැයි කියන්නටද බැරි, තායිලන්තය වැනි රටවල අම්මලා සුවද පැණින් නහවා තම තරුණ දියණියන් ආරාමවල වෙසෙන භික්ෂුන්ට පුද කරන කතාවක් අප කළෙක සිට අසන්නෙමු. මේ අම්මාද ළඟ පෙණුන මුදල් දැක, ඔබගේ බලවන්තකම ඉදිරියේ ඔබට පිටු නොපා දියණියගේ අනාගතය ඔබ වෙනුවෙන් ම පූජා කරන්නට ඇති.
ഇතිං හේමරතන යාණෙනි, ඔබ තරමට තබා පංචශීලයවත් හරි රකින්නට නොදත් මේ අහිංසක දැරියගේ මවගෙන් ඔබට ඒ දැරිය සමග කම්සැප විදින්ට අවැසි බව ඔබ වදාල කල්හි, ඒ මව්තුමියට මොනවා හිතෙන්නට ඇද්දයි අපි අනුමාන කරන්නෙමු. වර්තමාන සංඝයාට කම් සැප විදින්ට තම බොළද දියණිය නොදී ආනන්තරිය පාපකර්මයේ ගිළෙන්නට මේ දිළිදු මව බිය වෙන්නට ඇති. හේතුව ඔබ ඇය තරමටම ධර්මය තබා පංචශීලයවත් නොදැන සිටියා විය හැකියි.
අනෙක අටමස්ථානයේ මහා බලසම්පන්න ඔබ කළ ඉල්ලීමට පිටු පාන්නට ඇයට නොහැකි වුණේ දුප්පත්කම, නූගත්කම, අසරණකම වෙන්න ඇති. ඒත් හේමරතන, ඇත්තම කියනවා නම් ඒ අම්මාට තිබුණේ වැලි මළුවේ වැළිකැට සියල්ල අවසන් වෙනතුරු උඹේ මුහුණට දමා ගසන්නටය. ඒත් ඒ අම්මා එහෙම නොකළේ ඇයිදැයි අපි අදත් ප්‍රශ්ණ කරන්නෙමු.
සමාජයේ ඛේදවාචකය සහ නීතියේ බුරුල්තැන්
ඒත් හේමරතන, මේ සිදුවෙමින් පවතින නීතියේ බුරුල්තැන්, පොලිසියේ දියාරුකම් වගේම, මිත්‍යා විශ්වාසයෙන් බෞද්ධකම පුද පූජාවලට විතරක්ම සීමා කළ, බුද්ධාගම තමා සතු අයිතියක් කර ගත් හුදී ජනකායද නිසා, දැන් ඉතිං අර අහිංසක දැරිය අභිසාරිකාවක් කොට ලේබල් කර හමාරය.
ඔබ කහ පාවඩ මතින් ඇවිද්දවා, සුදු නෙළුම් මල්වලින් සුවද පැන් ඉස ඔබව අටමස්ථානයේ සිහසුනේ සදා කල්හිම හිදුවා තබනු ඇත. ඒත් හේමරතනයෙනි, ඔබ වැරදිකරුවෙකු යැයි තවමත් උසාවියකින් ඔප්පු වී නැත. එසේ වේවි යැයි හෝ, එවැන්නක් කවදා වෙන්නේ දැයි අපට නම් සිතා ගන්නටත් බැරි පෙරමග ලකුණු බොහෝමයක් දැන් පහළ වී ඇත.
ඔබ උසාවියකින් වරදකරු වූවද, නැතිද අපට නම් දැන් ඉතිං කම් නැත. ඒත් අප මේ වෙහෙස වන්නේ, දර දිය අදින්නේ මෙවැනි කතා නැවත නැවත කෙදිනක හෝ අපේ දෙසවන්වලට නොඇසෙන්නට වැඩ සාදා ගන්නටය.
නීති තද කිරීම: ළමයන් රකින අයම ඔවුන්ව දූෂණය කරන විට, අප විශ්වාස කළ ආයතනවල හිමිකරුවන් ඒ විශ්වාසය බිද දමන විට අපට ඇති එකම මග එවැනි අය කොටු කර ගන්නට නීති තද කරන්නට යැයි කියා තීරණ ගන්නා උස් පුටුවල වාඩිවන පුද්ගලයන්ට බල කිරීමටය.
පෙළ ගැසීම: ඒ වෙනුවෙන් පෙළ ගැසෙන්නටය.
දැනුවත් කිරීම: දරුවන්ද, සමාජයද දැනුවත් කරමින් නැවතත් දවසක මෙවැනි දුක්ඛාන්තයක් කණ වැකෙන්නට ඇති ඉඩකඩ අසුරන්නටය.
ආරක්ෂාව: නීති නැත්නම් ඒවා හදා හෝ දරුවන් සහ ගැහැණුන් කාමාතුරයන්ගෙන් ආරක්ෂා කර ගන්නටය.
හෘද සාක්ෂියේ දඬුවම
ඉතිං හේමරතනයාණෙනි, මේ මොනවා කළත්, සියල්ල කාලයේ වැලි තලාවෙන් වැසී ගියත්, ඔබ නිවැරදිකරුවෙකු ලෙස නීතියේ වදන් පේළි අතරින් ලියැවී කියවුනත්, මේ සියල්ල අප මෙලොවින් සමුගන්නා තුරාවටම මුළු මහත් සමාජයක් කොඳුරනවා ඔබට ඇසෙනු ඇත.
ඒ හැම දෙයටම වඩා ඔබේ හදවත හෙමින් කෙඳිරි ගාමින් ඔබට ඔබේ යටගියාව ගැන සියළු වේදනාවන් වැරෙන් ඔබේ හදවත පිරිමදිනු ඇත. ඒ සියුමැලි දැරියගේ හදවතේ ගැස්මට මුසුව ආ වේදනාව, බිය මුසු දෑස්, ඒ සියළු වේදනාවන් ඔබේ සිත තුළ හොල්මන් කරමින් ‘ඇත්ත කියාපන්’ කියමින් මොර දෙමින් ඔබට කියනු ඇත.
ඉතිං බුද්ධ පුත්‍රයකු වූ ඔබ සිදු වූ වරදට සමාව ගන්නවා හැර තවත් විකල්පයක් තිබේද? බුදු සසුන රකින්නට නම් සමාජය රැකිය යුතුය. බුදු හිමි සරණ යාම නම් බොරු නොකීමය. කාමයෙහි හැසිරී දැන් ඔබ සිල් බිඳ ගත් චීවරධාරියෙක් පමණි.
දැන් ඉතිං වරද පිළිගනු මැනව.
මුළු මහත් සමාජයක් පෙළමින්, තනතුරට සහ කාමසුඛල්ලිකානුයෝගයට ගිජු වී නිර්මල බුදු දහමට නිගා නොදී පසුබසින්න. අන්න එතකොට "වැරදි කිරීම මනුෂ්‍ය ගතියක්, සමාව දීම දේව ගතියක්" කියා සමස්ථ සමාජය ඔබව නිදහස් කරනු ඇත. එසේ නොවුනහොත් නීති, තර්ක හෝ එහි වදන් මතින් ඔබ නිදහස් වුවද, ඔබට ඔබේ හෘද සාක්ෂියෙන් නිදහස් වීමට නම් නොහැකි බව තරයේ හිතට ගන්න.
අවසාන සටහන
අවසාන වශයෙන් ලියන්නට ඇත්තේ එක දෙයකි: ‘බුද්ධාගම වැනසෙන්නේ’ NGO, ඩයස්පෝරාව, වෙනත් ආගම් හෝ වත්මන් ආණ්ඩුව නිසා නොව, පංසල් ඇතුළේම අරක් ගෙන සිවුරට මුවා වී ඉන්නා ඔබලා නිසාය.
ඉතිං දැන්වත් නිර්මල බුදු දහම රකින්න උදව් වෙන්න. සිවුර ගලවා, බුදු පිළිම වහන්සේ ඉදිරිපිට තබා වැඳ නමස්කාර කොට ගිහි ගෙට යනු මැනවි!
ලියුම්කරු: හේම්ස් @ 24/05/2026