රජයේ වෛද්‍ය නිළධාරී සංගමයේ (GMOA) විධායක සභාව ඒකාබද්ධ විපක්ෂයේ කොටසක්ද??
Dr. සුමල් පෙරේරා
අවුරුදු විස්සක් පමණ කාලයක් වැටුප් ඉල්ලීම් වෙනුවෙන් දීපව්‍යාප්ත වැඩවර්ජනවලට නොගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද වැටුප් සහ වෙනත් ඉල්ලීම් වෙනුවෙන් දිවයිනම ආවරණය වන පරිදි වැඩවර්ජන ආරම්භ කර ඇත. මෙහි විශේෂත්වය වන්නේ, රට බංකොලොත් වී ඇති වාතාවරණයක, ඉතිහාසයේ දැවැන්ත ස්වාභාවික ව්‍යසනයක් සිදුවී මාසයක් ගතවීමටත් පෙර, මෙවැනි අසාමාන්‍ය වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ වීමයි.
මෙම ආණ්ඩුව බලයට පැමිණි දින සිටම, රජයේ වෛද්‍යවරුන්ගේ ප්‍රධාන වෘත්තීය සංගමය කිසිදු විරෝධතා ප්‍රකාශයක් හෝ වැඩවර්ජන තර්ජනයක් නැතිව ගත කළ මාසයක් සොයාගැනීම දුෂ්කරය. මෙම තත්ත්වය නිසි ලෙස අවබෝධ කරගැනීමට නම්, GMOA හි ඉතිහාසය, එහි දේශපාලන සංයුතිය සහ වත්මන් ආණ්ඩුව සමග ඇති මූලික ගැටුම හොඳින් විමසා බැලිය යුතුය.
වෘත්තීය සංගමයක සිට දේශපාලන සංවිධානයක් වෙත
2000 වසරට පෙර කාලයේදී GMOA බොහෝ දුරට පක්ෂ දේශපාලනයෙන් තොර, වෘත්තීය අයිතිවාසිකම් කේන්ද්‍ර කරගත් සංගමයක් ලෙස ක්‍රියා කළේය. වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ආනන්ද විජේවික්‍රම වැනි නායකයන් ඒ කාලයේ එයට නායකත්වය ලබා දුන්නා.
නමුත් වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ඇතුළු කණ්ඩායම GMOA බලය අත්පත් කරගත් පසු, එය වෘත්තීය සංගමයකින් දේශපාලනීකරණය වූ සංවිධානයක් බවට පත් විය. නායකත්වය සාමාජිකයින්ගේ ඡන්දයෙන් පත්වෙන බව කියූවත්, සත්‍ය වශයෙන්ම ඡන්දය භාවිතා කරන්නේ සාමාජිකයින් 20,000කට ආසන්න සංඛ්‍යාවෙන් 3,000ක් පමණය. ඒ හරහා පත්වෙන්නේද එජාපය, සජබය හෝ පොහොට්ටුවේ නායක මණ්ඩල පත්වෙන ආකාරයට සමාන ක්‍රමවේදයකිනි.
ඇත්ත වශයෙන්ම GMOA හැසිරෙන්නේ තවත් දේශපාලන පක්ෂයක් මෙන්ය.
රාජපක්ෂ රෙජීමය සමග ගනුදෙනු සහ වරප්‍රසාද
පසුගිය ආණ්ඩු සමයේ GMOA කෙළින්ම රාජපක්ෂ රෙජීමය සමග “ඩීල්” එකකට ගොස් තිබුණි. එය කොතරම් බලවත්ද කියනවා නම්, 2019 මැතිවරණයේදී බැසිල් රාජපක්ෂ විසින් “GMOA දුන් ලැයිස්තුවටත් නොමිනේෂන් දෙන්න සිදුවුණා” යැයි ප්‍රසිද්ධියේ පැවසීය. GMOA ක්‍රියාකාරිකයෙකු වූ වෛද්‍ය උපුල් ගලප්පත්ති වැනි අය පාර්ලිමේන්තුවට පැමිණියේද මේ ක්‍රමය හරහාය.
ඒ කාලයේ සාමාජිකයින්ගේ සැබෑ වෘත්තීය ගැටලු පැත්තකට දමා, කාබනික ගොවිතැන වැනි විෂයයන් ඉදිරියට ගෙනවිත් සාමාජිකයින් “ඩිස්ට්‍රැක්ට්” කරමින්, GMOA ඉහළ කවය තමන්ගේ පුද්ගලික සහ දේශපාලන අවශ්‍යතා සපුරා ගත්තේය. පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනවලට බලපෑම් කිරීම, කැමති රෝහල්වලට මාරුවීම් ලබාගැනීම, තමන්ට විරුද්ධ අය වෙනත් ස්ථානවලට මාරු කිරීම, දරුවන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීම දක්වා මෙම බලය පැතිර ගොස් තිබුණි.
එම කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළත GMOA සතුව “පුංචි ආණ්ඩුවක්” තිබුණි. දහස් ගණනක් වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් වෙනුවට, දෙතුන් සියයකගේ උවමනා ඉටුකරමින් ආණ්ඩුවද මෙම ක්‍රමයට අනුගත විය.
2022 පසු බලය බිඳවැටීම
2022 පසු කාලයේදී පාදෙනිය ඇතුළු මෙම බලකණ්ඩායම පසුබැස, ඔවුන්ගේ ගෝලයන් ඉදිරියට යොමු කළද GMOA හි දේශපාලන ස්වභාවය කිසිසේත්ම වෙනස් නොවීය. 2000 පසුකාලය පුරාම කෙටි කාලයක් හැරුණු විට එකම මතවාදය දරණ කණ්ඩායමක් බලයේ සිටියේය.
පසුගිය මැතිවරණයේදී බහුතර වෛද්‍යවරුන් ජාතික ජන බලවේගයට ඡන්දය භාවිතා කළ අතර, ඉතිහාසයේ වැඩිම වෛද්‍යවරුන් සංඛ්‍යාවක් පාර්ලිමේන්තුවට ඇතුළු විය. සෞඛ්‍ය අමාත්‍ය, නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය, කථානායක, කෝප් සභාපති ඇතුළු තනතුරු රැසක් වෛද්‍යවරුන් සතු විය. නමුත් ඒ කිසිවෙක් GMOA හි බැසිල් හරහා නොමිනේෂන් ගත් පිරිස නොව, විශ්වවිද්‍යාල කාලයේ සිටම පාදෙනියලාගේ දේශපාලනය විවේචනය කළ වෛද්‍යවරුන්ය.
මේ හේතුවද GMOA ඉහළ කවය සහ වත්මන් ආණ්ඩුව අතර ගැටුමට මූලික හේතුවක් විය.
GMOA – විපක්ෂ දේශපාලන ව්‍යාපෘතියක්ද?
නව ආණ්ඩුව සමග GMOA සතුව තිබූ අවිධිමත් බලය බිඳවැටුණි. අවුරුදු 10–15ක් කැමති ස්ථානවල වැඩ කිරීම, අකමැති අය මාරු කිරීම, මාරු මණ්ඩල පාලනය කිරීම වැනි වරප්‍රසාද අහිමි විය. ඒ නිසාම GMOA ඉහළ කවය නව ආණ්ඩුව පෙරළීම තම ප්‍රධාන අරමුණ කරගත්තේය.
මෙහි පසුබිම තුළ පාදෙනිය වැනි රාජපක්ෂ බලල් අත්, සජබයට සම්බන්ධ චමල් සංජීව වැනි පුද්ගලයන්, සහ රනිල්–දිලිත් පාර්ශවයට සම්බන්ධ වෛද්‍ය කණ්ඩායම් ද ක්‍රියාත්මක වෙමින් සිටී. පොදු සතුරා “ආණ්ඩුව” යන මතයෙන්, කලින් සතුරන් වූ සමන් රත්නප්‍රිය, රවී කුමුදේශ් වැනි අය සමග පවා එකට වැඩ කිරීමට ඔවුන් සූදානම් වී ඇත.
අනුරුද්ධ පාදෙනිය සහභාගී වූ සාකච්ඡාවකදී, GMOA ඕනෑම විපක්ෂ බලවේගයක් සමග කොන්දේසි විරහිතව එකතු වී මෙම ආණ්ඩුව ඉවත් කිරීමේ උපායමාර්ගයකට එකඟ වී ඇති බවද අනාවරණය විය.
නිගමනය
අද සිදුවෙමින් පවතින්නේ වෛද්‍යවරුන්ගේ සාධාරණ ඉල්ලීම් වෙනුවෙන් වන වෘත්තීය අරගලයක් නොව, බලය අහිමි වූ දේශපාලන කණ්ඩායමක් විසින් ක්‍රියාත්මක කරන කඩාකප්පල්කාරී ව්‍යාපෘතියකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව, සැබැවින්ම, ඒකාබද්ධ විපක්ෂයේ අවිධිමත් පක්ෂයක් ලෙස ක්‍රියා කරමින් සිටී.
ඒ නිසා මෙම ගැටලුව විසඳිය හැක්කේ ඉල්ලීම් ලබාදීමෙන් නොව, සාමාන්‍ය වෛද්‍යවරුන්ගේ සැබෑ ගැටලු විසඳමින්, GMOA ඉහළ කවයට විශේෂ වරප්‍රසාද ලබාදෙන පද්ධතිය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමෙන්ය. ජනතාවගේ සෞඛ්‍යය වෙනුවෙන් දිවා රෑ නොබලා සේවය කරන සාමාන්‍ය වෛද්‍යවරයා, මෙම දූෂිත දේශපාලන කල්ලියෙන් වෙන්කර හඳුනා ගැනීම අද අත්‍යවශ්‍ය වේ.