රතු මැයි දිනයක හෘද ස්පන්දනය
ගාමිණී මුතුකුමාරණ
සන්ධ්‍යා අඳුර කොළඹ අහස වෙලා ගනිමින් තිබුණ ද, ඒ මහා ජන ගඟ මැද අඳුරට ඉඩක් තිබුණේ නැත. රතු පැහැති ධජ පටියෙන් ද, දහස් ගණන් මිනිස් මුහුණුවලින් ද, ඒ අතරින් නැගෙන උදාර වූ හඬවල්වලින් ද මුළු පරිසරයම මැයි දිනයකට උචිත විප්ලවීය උණුසුමකින් ආලෝකමත්ව තිබුණි.එහිදී ඇසුණු ඒ කතාව, හුදු පක්ෂ නායකයෙකුගේ හෝ රටක නායකයෙකුගේ දේශනයකට වඩා එහා ගිය එකකි.
එය සාමාන්‍ය දේශපාලන වාක්‍ය මාලාවක රාමුව බිඳ දමමින්, වැඩ කරන ජනතාවගේ ආත්මයට කෙරෙන ආමන්ත්‍රණයක් සේ ඇසුණි. තමන්ගේ අයිතිය, තමන්ගේ අනන්‍යතාවය සහ සමාජය තුළ තමන්ගේ ස්ථානය පිළිබඳව යළි සිතන්නට කෙරෙන ඒ ගැඹුරු ආරාධනාව මැයි දිනයක සැබෑ අර්ථය පසක් කළේය.
ජනාධිපති අනුර සහෝදරයා සිය කතාවෙන් අඳුරු අතීතයත්, අභියෝගාත්මක වර්තමානයත්, පැහැදිලි අනාගතයත් යන තුන් කාලයම එකට යා කළේය. එය සැබවින්ම නිර්භීත කතාවකි. ආලෝකයෙන් පිරුණු කතාවකි. ඒ සෑම වචනයක්ම එකිනෙකට බැඳී තිබුණේ 'බලාපොරොත්තුව' නමැති රන් හුයෙනි.
ඔහු සිය කතාව අවසන් කළ ඒ මහා ප්‍රකාශය මුළු ජනතාවගේම හදවත් ස්පන්දනය කළේය.
“මේ තියෙන්නේ මගේ ආණ්ඩුවක් නෙවෙයි. මේක වැඩ කරන ජනතාව පත්කර ගත්ත ජනතා ආණ්ඩුවක්!"
ඒ වචන, හුදු අකුරුවලට සීමා නොවී ජනතාවගේ හදවත් තුළ ගැඹුරු හැඟීමක් ලෙස තැන්පත් වූවාට සැක නැත. ඒ උත්කර්ෂවත් මොහොතේ මගේ අසල සිටි අප මිත්‍රයා නන්දන වීරරත්න , මා දෙස බලා මෙසේ පැවසුවේය. "අනුර කතා කරන්නේ බොක්කෙන්"
නන්දනත් මාත් ඉතිහාසයේ විජේවීර සහෝදරයාගේ සිට බොහෝ නායකයින් මහජනතාව ඉදිරියේ සිය හෘද සාක්ෂිය දිගහරිමින් කළ කතා අසා ඇති මිනිසුන්ය. එබැවින් 'බොක්කෙන් කතා කිරීමේ' අරුත අප හොඳින්ම දනිමු. එය හුදු කථිකත්වයක් නොව, අවංකත්වයත්, දේශපාලන දැක්මත් එකට මුසු වූවකි. පැරණි පාලක පන්තියේ සතුරන් කෙතරම් කුමන්ත්‍රණ දියත් කළ ද, ඒ සියල්ලට නොබියව මුහුණ දීමට සූදානම් බව ඔහු අවධාරණය කළේය. එම ස්වරය හුදෙක් දේශපාලන ප්‍රකාශයකට වඩා, යුක්තිය වෙනුවෙන් නැගෙන නිර්භීත හඬක් සේ දසත රැව් දුන්නේය. එය නායකයෙකු සහ ජනතාව අතර ඇති ආත්මීය බැඳීම" ඇති කරනා කතාවකි.
මැයි දිනය යනු කැලැන්ඩරයේ තවත් එක් රතු පැහැති දිනයක් පමණක් නොව, එය මිනිසුන් ස්වකීය ජීවිතය ගැන සිතා, අලුත් ජවයකින් ඉදිරියට ගමන් කරන ජීවමාන සංකේතයකි.