තබුත්තේගම රන්බංඩාගේ කොළු
ටෙරල් අබේසිංහ
අනුර කුමාර දිසානායක යනු වචනයේ පරිසමාර්ථ අර්ථයෙන්ම ආර්ථික, සමාජීය පහළ පංතිය නියෝජනය කරන මිනිසෙක්. ඒ නිසාම පැවති දේශපාලන සංස්කෘතිය අනුව රාජ්‍ය නායකයා වීමේ කිසිදු විභවයක් තිබූ තනි පුද්ගලයෙක් නෙමෙයි ඔහූ. වැඩිම වුනොත් ප්‍රභූ පංතියෙන් පැවත එන නායකයන් ගේ පැවැත්ම සඳහා අවශ්‍ය, “පහළ පංතියෙන් පැමිණි කෙනෙකුත් අපිත් එක්ක ඉන්නවා” කියලා ජනතාව රැවටවීමට යොදාගන්නා සැරසිල්ලක් බවට පත්වීම ඉරණම් කොටගත් පංතියේ පුද්ගලයෙක්.
ඒ ඉරණමට ඔහූ යට නොවූනේ කොහොමද ?
මිනිස් ඉතිහාසය යනු බලය, දනය ඇති පංතිය විසින් තමන්ගේ නොවන පංතීන් ට ඉරනමක් ලෙස බාරගැනීමට බල කරන ජිවින තත්වය ඒ අයුරෙන්ම බාරගැනීම ප්‍රතික්ෂේප කරන ඉතිහාසයකි . ඒ වෙනුවෙන් පීඩිතයා තම දිවි පරදුවට තබා සටන් කල ඉතිහාසයකි.
ලංකාවේ උතුරේත් දකුණෙත් ජනයා තම ජිවිත වලින් වන්දි ගෙවා මේ යටත් වීමට ඇති විරෝධය පෙන්වා තිබෙනවා. අදටත් ඒ සඳහා කිසිදු පැකිලීමකින් තොරව ඔහුන් ඉදිරිපත් වෙනවා.
ඒ යටත් නොවීමේ ඉතිහාසයේම දිගුවක් තමයි 2022 ජනතා නැගිටීම. ඒ නැගිටිමේ ඊළඟ පියවර වුනේ 2024 අනුර කුමාර ජනාධිපති වීමත් ජාතික ජන බලවේග ආණ්ඩුවක් පිහිටවීමත් ය.
මේ විපරිවර්තනය සඳහා විශාලම අත්වවැලක් වුයේ, යටත් වීමට කොහෙත්ම එකග නොවන, දේශපාලනය යනු මුදල් ඉපයීම සඳහා වූ රැකියවක් නොව, අනුරාගයෙන් යුතුව මානව විමුක්තිය සඳහා විශ්විය වටිනාකම් සොයා යන මිනිස් සාමුහිකත්වය පිලිබඳව විස්වාසය තබා සිටින ගැහැණුන්ගේ සහ පිරිමින්ගේ එකතුවක් වෙන දේශපාලන සංවිදානයයි.
එයටත්, රාජ්‍යටත් නායකත්වය දෙමින් ජනතාව ගේත් ප්‍රසාදයත් එකගතාවත් එකසේ පවත්වාගෙන යෑම විශාල අභියෝගයක්.
නමුත් අළුත්ම සමීක්ෂණ අනුව නායකයා ලෙස තබුත්තේගම රංබණ්ඩා ගේ කොළු ජනතාව ගේ ඉහල පිළිගැනීමටත් ඒ නායකයාව බිහි කිරීමේ පදනම වෙන සංවිදානයේ නියෝජිතයා වෙන ආණ්ඩුවත් ජනතාව ගේ ප්‍රසාදය දිනාගනිමින් දේශපාලනයේ යෙදෙමින් සිටියි .
ඒ වගේම අලුත් දේශපාලන සංස්කෘතියක,භාවිතාවක ඕනෑ කම වෙනුවෙන් උකුසු ඇසෙන් යුතු ජනතාවක් ද බිහිවෙමින් සිටියි.
වර්ධනය වෙමින් තිබෙන්නේ රංබන්ඩලා ගේ දුවා දරුවෝ සහ උකුසු ඇසෙන් බලා සිටිනා ජනතාවක් අතර පවතින දයලෙක්තික සම්බන්දයක් සහිත දේශපාලන ගතික මොහොතකි.
කිසිවෙකුටත් මේ මොහොත මග හැර යා නොහැක.
විශේෂයෙන් මේ මොහොත යනු දේශපාලනයේ යෙදීමට නම් මෙතෙක් පවත්වාගෙන ආ වටිනාකම්,ආකල්ප සහ බලාපොරොත්තු වෙනුවට අලුත් දේ වෙනුවෙන් පොරබාදීමට බල කර සිටින මොහොතකි.
මේ තත්වය තේරුම් ගැනීමට නොහැකි අය යනු වඳ වීමේ අවදානමට යටත් සත්ව කොට්ටාසයකි.
පිටිය මේක, මේකේ නටන්න!