දූෂණ විරෝධී මෙහෙයුම සහ වියරු වැටුණු 'මඩ' බලකායේ නිරුවත
ශ්‍රී ලංකාවේ දේශපාලන සහ පරිපාලන පද්ධතිය දශක ගණනාවක් තිස්සේ ඔඩුදුවා තිබූ දූෂණයේ අඳුරු මලපුඩුවලින් මුදාගැනීමේ තීරණාත්මක මෙහෙයුමක් වත්මන් රජය විසින් ක්‍රියාවට නංවමින් ඇත. මෙය මැතිවරණ වේදිකාවලට පමණක් සීමා වූ පොරොන්දුවක් නොව, ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන වැඩපිළිවෙළක් බවට පත්වීමත් සමඟ දූෂිත දේශපාලනඥයන් සහ නිලධාරීන් කල්ලියක් දැඩි ලෙස වියරු වැටී සිටිති. තමන් මෙතෙක් කල් අයුතු ලෙස රැස් කරගත් ධනයත්, භුක්ති විඳි අසීමිත වරප්‍රසාදත් ගිලිහී යන බව වටහාගත් ඔවුන්, දැන් තෝරාගෙන ඇත්තේ අශිෂ්ට 'මඩ' ව්‍යාපාර හරහා රාජ්‍ය යාන්ත්‍රණය අඩපණ කිරීමේ බංකොලොත් මාවතයි.
ආපදා කළමනාකරණය සහ දූෂිතයන්ගේ සිහින බිඳ වැටීම
"දිට්වා" සුළිකුණාටුවෙන් පසු රට අරාජික වනු ඇතැයි සිහින දුටු දූෂීත බලවේගයන්ට මරු පහරක් රජය විසින් එල්ල කළේ ආපදා කළමනාකරණයේ දී ත්‍රිවිද හමුදාව පෙරමුණට ගෙන කටයුතු කරමිනි. ත්‍රිවිධ හමුදාව යොදවා ගනිමින් රට යථා තත්ත්වයට පත් කිරීමට රජය ගත් විශිෂ්ට පියවර මේ දූෂිතයන්ගේ නොසන්සුන්තාවයට ප්‍රධාන හේතුවක් විය. ආපදාවට ලක්වූවන් මුදාගැනීමේ සිට සහන සැලසීම දක්වා ත්‍රිවිධ හමුදාව කළ කැපවීම හමුවේ රට නැවත නැගී සිටින විට, එය දරාගත නොහැකි වූ පිරිස් රට අස්ථාවර කිරීමේ අරමුණින් හමුදා නායකත්වයට එරෙහිව මඩ ප්‍රහාර එල්ල කිරීම සදහා වෑයම් කරමින් සිටියි.
සංවිධානාත්මක මඩ මෙහෙයුමක ඇතුළාන්තය
ඕනෑම රටක දූෂණයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන විට ඊට එරෙහි බලවේග නැගී සිටීම සාමාන්‍ය තත්වයකි. එහෙත් වර්තමානයේ අප දකින්නේ අතිශය සංවිධානාත්මක සහ සැලසුම් සහගත මඩ ව්‍යාපාරයකි. එහි මූලික ඉලක්කය වී ඇත්තේ දූෂණ විරෝධී සටනට නායකත්වය දෙන උසස් නිලධාරීන්ගේ ප්‍රතිරූපය විනාශ කිරීමයි. එමඟින් එම නිලධාරීන් මානසිකව වට්ටවා පසුබෑමට ලක් කිරීම හා ඔවුන් ගෙනයන ක්‍රියාමාර්ගයන් අඩපන කිරීමත්, එමගින් රජය කෙරෙහි පවතින මහජන විශ්වාසය පළුදු කිරීමත් මොවුන්ගේ අපේක්ෂාව වී තිබේ.
මෙම අශිෂ්ට ප්‍රහාරයේ මෑතකාලීන ප්‍රධානතම ඉලක්කයක් බවට පත්ව ඇත්තේ වත්මන් යුද හමුදාපතිවරයායි. යුද හමුදාව වැනි විනයගරුක ආයතනයක් තුළ කාලාන්තරයක් තිස්සේ මුල් බැස තිබූ දූෂිත ජාලයන් බිඳ දැමීමට ඔහු ගත් නිර්භීත තීරණ මෙම මඩ ප්‍රහාරවලට මූලික හේතුව වී ඇත.
මෙහි ඇති සුවිශේෂීම කාරණයවන්නේ මේ මඩ ව්‍යාපාරවල ඉදිරිපෙළ නළුවන් බවට පත්වී ඇත්තේ යුද හමුදාවෙන් ඉවත් කළ සහ පළවා හැරි පිරිසක් වීමය. විහිලුවට කරුනක් වන්නේ යුද හමුදාවේ සේවයේ නිරතව සිටියදී සිදුකළ ලිංගික අපචාර, වංචා දූෂණ හා යුධ හමුදාවේ තොරතුරු වෙනත් අයවලුන්ට ලබාදීම නිසා දඬුවම් ලබා යුධහමුදාවෙන් එලවා දැමූ මේ වංචනිකයන් යුද හමුදාව නිවැරදි කරන්නට යැයි කියා ජනාධිපතිතුමාට උපදෙස් ලබාදීමට උත්සාහ කිරීමය.
යුද හමුදා රෝහලේ වංචා හෙළිදරව් වීම
හමුදාපතිවරයා ඉලක්ක කරගත් මඩ ව්‍යාපාරයේ ආරම්භක අවස්ථාව වූයේ යුද හමුදා රෝහල ආශ්‍රිතව අනාවරණය වූ මහා පරිමාණ වංචාවන් වලට වැට බැඳීමට යුද හමුදාපතිවරයා සිදුකළ දැඩි මැදිහත්වීමයි. රණවිරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සෞඛ්‍ය සුබසාධනය වෙනුවෙන්වූ ඖෂධ සහ උපකරණ සම්බන්ධයෙන් පැවති ජාවාරම් හෙළිදරව් වීමත්, රටේ හිටපු ප්‍රබලයන් පවා අවිධිමත් ලෙස යුධ රෝහලෙන් ප්‍රතිලාභ ලබාගත් පුවත් අනාවරණය වීමත් සමඟ දූෂිතයන් "මරු විකල්ලෙන්" මෙන් හැසිරෙන්නට විය.
මෙසේ තමන් භුක්ති විඳි වරප්‍රසාද අහිමි වූ යුද හමුදා නිලධාරීන් පිරිසක් හා ඔවුන් මෙහෙයවන රජයට විරුද්ධ කල්ලි මිලදී ගත් සමාජ මාධ්‍ය භාවිත කරමින් යුධ හමුදාපතිවරයාට පමණක් නොව ඔහුගේ පවුලේ සාමාජිකයින්ට පවා නින්දා කිරීමට තරම් පහත් වී තිබේ. එහෙත්, මෙම මඩ ප්‍රහාර හමුවේ හමුදාපතිවරයා සිය ස්ථාවරය මදකු හෝ වෙනස් නොකිරීම දූෂණ විරෝධී ගමනේ සුවිශේෂී ජයග්‍රහණයක් මෙන්ම දූශිතයන් ලැබූ පරාජයකි.
හමුදාව පිරිසිදු කිරීම සහ හමුදාවේ සිටි දූෂිතයින් "මරු විකල්ලෙන්" හැසිරීම
හමුදාව පිරිසිදු කිරීමේ ආරම්භ වූයේ හමුදාව තුළ සිටින, ඇතැම් බලවතුන්ගේ "හුරතලුන්" ලෙස සැලකුණු දූෂිත නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙනි. වසර ගණනාවක් තිස්සේ තමන් ආරක්ෂිත යැයි සිතා සිටි මෙම පිරිසට නීතිය හමුවට යාමට සිදුවීම මරු පහරක් විය. මින් පෙර තම "හාම්පුතුන්" වෙනුවෙන් සුදුහුණු ගෑ මෙම පිරිස, දැන් එම දෑතින්ම මඩ බාල්දි ගෙන හතර අතේ විසුරුවමින් සිටිති. ඔවුන්ගේ එකම අරමුණ වන්නේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ අඩපණ කිරීමයි.
මෙම දූෂිත පිරිස මේ වනවිට රටේ දූෂිත දේශපාලන බලවේග සමඟද අත්වැල් බැඳගෙන සිටී. රට අස්ථාවර කිටීමට නිතරම මාන බලනෙ එම පිරිස රජය සහ හමුදාව අතර ඇති විශ්වාසය බිඳ දැමීම එක් උපායමාර්ගයක් කරගෙන තිබේ. හමුදාව කෙරෙහි රජය තුල ඇති විශ්වාසය බිද දැමීම සදහා ඔවුන් ගන්නා උත්සාහයන් අතිශය නින්දිතය. නමුදු ඔවුන්ගේ අවාසනාවකටදෝ පසුගිය දිඨිවා ව්‍යසනය කලමනාකරනය කිරීම සදහා යුද්ධහමුදා නායකත්වය ලබාදුන් මහගු සේවාව තම ඇස්දෙකින් දුටු ගරු ජනාධිපතිතුමා මුලාකිරීමට ඒ සිංදු කාරයන්ට ලිංගික අසහන කරුවන්ට හා අනෙකුත් දූශිත කල්ලි වලට නොහැකි වී ඇත. ඒ අනුව රජය සහ හමුදා නායකත්වය අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය සහ ශක්තිමත් විශ්වාසය හමුවේ එම කුමන්ත්‍රණ පරාජය වෙමින් පවතින පසුබිමක එම දූශිතයින් වියරු වැටී තිබෙන අයුරු දකින විට සිනහ නැංවෙයි.
'මාධ්‍යවේදී' වෙස්ගත් කුලීකරුවන්ගේ නිරුවත‘
මෙම මඩ ව්‍යාපාරයේ තවත් මුහුණුවරක් වන්නේ ඇතැම් මාධ්‍ය භාවිතයයි. දූෂිතයන්ගේ මුදලට යට වූ, මාධ්‍යවේදීන් ලෙස පෙනී සිටින පුද්ගලයන් ලවා රජයේ ප්‍රධානීන් අපහසුතාවයට පත් කිරීමට ඔවුන් උත්සාහ කළහ. පසුගියදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අමාත්‍ය විජිත හේරත් මහතාගෙන් ප්‍රශ්න කරමින් රජය සහ හමුදාව අතර ගැටුමක් පෙන්වීමට උත්සාහ කළ පුද්ගලයාට අමාත්‍යවරයාගෙන් ලැබුණු තර්කානුකූල පිළිතුර හමුවේ ඔහු නිරුවත් විය. එය දූෂිත බලවේගවලට එල්ල වූ ප්‍රබල කනේ පහරක් මෙන්ම, ඔවුන්ගේ 'ස්වයං වින්දනය' සඳහා කරන පහත් වෑයම්වල අවසානය සනිටුහන් කිරීමක් බඳු විය.
මඩට වැඩවලින් පිළිතුරු දීම
දූෂිතයන්ගේ අරමුණ වන්නේ කෙසේ හෝ දූෂණ විරෝධී වැඩපිළිවෙළ නතර කරවා තමන්ට සුපුරුදු පරිදි වංචා කිරීමට ඉඩ ප්‍රස්ථාව සලසා ගැනීමයි. එහෙත් දැන් ඒ සඳහා රට තුළ ඉඩක් නැත. "මඩ ගසන ඌරන් සමඟ මඩට නොබැස, වැඩවලින් පිළිතුරු දීම" රජයේ හා හමුදා නායකත්වයේ ප්‍රතිපත්තිය වී ඇත.
යුද හමුදාව යනු ජාතික ආරක්ෂාවේ කොඳු නාරටියයි. එය දූෂණයෙන් තොර පිරිසිදු ආයතනයක් බවට පත් කිරීම ජාතික වගකීමකි. එබැවින්, දූෂිතයන්ගේ මඩ ප්‍රහාරවලට බිය නොවී, නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට ගන්නා සෑම උත්සාහයකටම සියලු දෙනාගේ සහයෝගය අත්‍යවශ්‍ය වේ. මන්ද අවසානයේදී ජයග්‍රහණය කරන්නේ දූෂිතයන්ගේ වියරුව නොව, රටට ආදරය කරන අවංක මිනිසුන්ගේ නොසැලෙන අධිෂ්ඨානය බැවිනි.