Posts

මේ ගෙවෙන්නේ ආණ්ඩුවේ අමාරුම කාලයයි!

 මේ ගෙවෙන්නේ ආණ්ඩුවේ අමාරුම කාලයයි!

 වෛද්‍ය ඉදුනිල් දීප්‍ති කුමාර




මිනිසුන් යනු භෞතික තත්ත්වයන් මත තත්වාරෝපණය (Condition) වන පිරිසකි. ඒ අනුව, අතීත අත්දැකීම් විසින් අපගේ මොළය මෙහෙයවනු ලබන්නේ, වර්තමාන සිදුවීම් සම්බන්ධයෙන් ද පැරණි නිගමනවලටම එළඹීමටයි.

ලංකාවේ පැවති අතීත ආණ්ඩුවල ක්‍රියාකලාපය නිසා මිනිසුන් තුළ මෙවැනි තත්වාරෝපණය වූ මතයන් රැසක් පවතී. විපක්ෂය සහ විරුද්ධවාදී මාධ්‍ය විසින් වත්මන් ආණ්ඩුවට එරෙහිව ඉතා සූක්ෂම ලෙස භාවිතා කරන්නේ මිනිසුන් තුළ මුල් බැසගත් මෙම පැරණි ආකල්පයි.


සෑම පත්වීමක්ම හෝ මාරුවක්ම "දේශපාලන මාරුවක්" ලෙස දැකීම?


අතීතයේ මෙරට දේශපාලන අධිකාරිය සාමාන්‍ය රාජ්‍ය සේවයේ ස්ථානමාරුවලට පවා දැඩි ලෙස මැදිහත් විය. වරාය, ගුවන් තොටුපළ, ඉතිරිකිරීමේ බැංකුව වැනි ප්‍රධාන ආයතනවල පත්වීම් සිදු වූයේ දේශපාලන අනුමැතිය මතය. මේ නිසා, වර්තමානයේ රාජ්‍ය නිලධාරියෙකුට නීත්‍යානුකූලව මාරුවීමක් ලැබුණ ද, එය "දේශපාලන පළිගැනීමක්" ලෙස හංවඩු ගැසීම විපක්ෂයට ඉතා පහසු වී ඇත. ගුවන් සමාගමේ සභාපති මාරු කිරීම හෝ පාර්ලිමේන්තු නිලධාරියෙකු ඉවත් කිරීම දේශපාලන කුමන්ත්‍රණ ලෙස හුවා දැක්වූයේ මෙම මානසිකත්වය පාවිච්චි කරමිනි.


පොලිස් සේවය කෙරෙහි පවතින අවිශ්වාසය ?


පොලිසිය ද කාලයක් තිස්සේ ජනතාව තුළ වැරදි ලෙස තත්වාරෝපණය වූ ආයතනයකි. දැන් පොලිසිය නීත්‍යානුකූලව සැකකරුවෙකු නිදහස් කළ ද, එය ද දේශපාලනඥයෙකුගේ උවමනාවට කළ දෙයක්" යන මතය සමාජගත කිරීම ඉතා පහසුය. අනෙක් අතට, ජනාධිපතිවරයාගේ හෝ ඇමතිවරුන්ගේ හිතවතුන් ලෙස පෙනී සිටින වංචාකරුවන් පිරිසක් තවමත් මිනිසුන්ගේ මෙම දුර්වලතාවයෙන් ප්‍රයෝජන ගනිමින් පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම වැනි කටයුතු ජනාධිපති ගිණුමට දමා සිදු කිරීමට උත්සාහ කරති.


සෑම පාඩුවක්ම හොරකමකි

යන මතය ?


1977 වසරෙන් පසුව මෙරට දේශපාලනය සහ හොරකම යනු වචන දෙකක් මිස ක්‍රියා දෙකක් නොවන තරමට දේශපාලනය දූෂිත විය. සාමාන්‍ය ව්‍යාපාරයක මෙන්ම රාජ්‍ය ආයතනයක ද විවිධ තාක්ෂණික හෝ ආර්ථික හේතු මත පාඩු සිදු විය හැකිය. නමුත් අතීතයේ සිදු වූ මහා පරිමාණ වංචා නිසා, අද කිසියම් ආයතනයක් පාඩු ලබන බව ඇසූ සැණින් මිනිසුන් සිතන්නේ "ඇමති හොරා කෑවා" යනුවෙනි. විපක්ෂය වත්මන් නිලධාරීන්ට එරෙහිව මඩ ප්‍රචාර ගෙන යන්නේ ද මිනිසුන්ගේ මෙම 'Condition' වූ මොළය පාවිච්චි කරමිනි.


වැඩක් කරගැනීමට දේශපාලනඥයා සොයා යාම? 


වැඩක් කරගැනීමට නම් මන්ත්‍රීවරයෙකු පසුපස යා යුතුම බවට සමාජය හුරු වී ඇත. අදටත් රජයේ කිසිදු තනතුරක් නොදරන පුද්ගලයන්ට පවා රැකියා සහ මාරුවීම් ඉල්ලා පණිවිඩ ගලා එන්නේ ඒ නිසාය. "මේ ආණ්ඩුව එවැනි දේ කරන්නේ නැත" යන්න පිළිගැනීමට මිනිසුන්ගේ මොළයේ අදාළ කොටස තවමත් ඉඩ නොදෙන්නේ ඔවුන් වසර ගණනාවක් තිස්සේ ඒ ක්‍රමයට හුරු වී සිටින බැවිනි.

 

නිගමනය පරම්පරා ගණනාවක් පුරා තැන්පත් වූ මෙම නරක පුරුදු සහ වැරදි ආකල්පවලින් මිදී, මිනිස් මොළය නැවත තාර්කික චින්තනය (Rational Thinking) දෙසට හැරවීමට යම් කාලයක් ගත වේ. ආණ්ඩුව නොකළ වැරදි සම්බන්ධයෙන් ජනතාව මෙහෙයවීමට විපක්ෂයට ඇති හැකියාව ක්‍රමයෙන් ගිලිහී යන්නේ එවිටය.

මෙම ආකල්පමය සංක්‍රාන්ති කාලසීමාව ආණ්ඩුවට ලැබෙන අසීරුම කාලයයි. ස්වාධීන යැයි කියා ගන්නා ඇතැම් උගතුන් පවා නොදැනුවත්වම මෙම පැරණි 'තත්වාරෝපණයට' ගොදුරු වී ඇත. එම නිසා, රටේ වෙනසක් බලාපොරොත්තු වූ පිරිස ආණ්ඩුව වෙනුවෙන් ශක්තිමත්ව පෙනී සිටිය යුත්තේ මේ කාලසීමාව තුළයි. මෙම අභියෝගාත්මක සීමාව පසු කළ පසු, සාමාන්‍ය ජනතාව ස්වයංවම ආණ්ඩුව ආරක්ෂා කිරීමට පෙළඹෙනු ඇත.

- වෛද්‍ය ඉදුනිල් දීප්‍ති කුමාර

Post a Comment