Posts

තමිල්නාඩුවට නොව දකුණෙන් උතුරට සංස්කෘතික පාලමක්

 තමිල්නාඩුවට නොව දකුණෙන් උතුරට සංස්කෘතික පාලමක් 


“කච්චතිව් සමගම යාපනය ද තමිල්නාඩුවේ පාලනයට ගන්නැයි’ මෑතක දී යාපනයේ හුදකලා මහජන නියෝජිතයෙකු ප්‍රසිද්ධියේ ඉල්ලා තිබුණේ ය. මෙය මානසික අවුලක සිටිනේකු හෝ මෝඩයෙකුගේ හිතලූවක් ලෙස සැනෙන් බැහැර කල හැකි ප්‍රකාශයක් නොවේ. මෙබදු ඉල්ලීම්වලට ඉතිහාසයක් තිබේ. ඒ නිසා එම ඓතිහාසික තුවලය සුව කිරීමට උතුර - දකුණ යා කෙරෙන පොත් පාලමක සිහිනය දැන් ක්‍රියාවට නැඟෙමින් තිබේ. එය දිගු කාළීන සංස්කෘතික හුවමාරුවක ස්වරූපයෙන් පරපුරෙන් පරපුරට ඉදිරියට ගෙන යාමට හැකි වෙතැයි එහි සමාරම්භකයෝ විශ්වාස කරති. 


1981 ජුනි මාසයේ යාපනය නගරයේ සිදු වූ සාහසික අපරාධ අවතාරයක් මෙන් ලංකා සමාජය ලුහු බැඳ ඒම වලකන්නට මෙය උපකාර වෙතැයි ඔවුහු විශ්වාස කරති.  එවකට රටේ දේශපාලන නායකවය මෙහෙය මේ අපරාධ ගැන පරීක්ෂන කෙරුනේවත් වරදකරුවන්ට දඬුවම් කෙරුණේත් නැත. එයම රට අගාධයට දැමු දිගුකාළීන ඊළාම් යුද්ධයට මඟ පැදුවේය. ලංකා ඉතිහාසයේ ඇති සුව නොවූ ගැඹුරුම තුවාලය වන්නේ පොත් 97000 සහිත යාපන පුස්තකාලය ගිනිදමා විනාශ කිරීමය. ඊළාම් යුද සමයේ පටන් මේ වෙනුවෙන් කොතෙක් ‘දේශපාලන පැලැස්තර’ මේ තුවාලය වැසුවත් විනාශ කෙරුණු අති දුර්ලභ ග්‍රන්ථ හා ඉපැරණි පුස්කොල පොත් නැවත යාපන පුස්තකාලය තුල ස්ථාපනය කිරීම කිසිදා සිදු නොවන්නකි. 


මෙම මුලපිරීම මෙහෙයවනු ලබන්නේ හිටපු බීබීසී මාධ්‍යවේදියෙකු, කතුවරයෙකු සහ දේශපාලන විචාරකයෙකු වන නන්දන වීරරත්න විසිනි. මේ ව්‍යාපෘතිය Colombowire.com සහ Colombo Dialogue Think Tank සමඟ එකාබද්ධව සිදු කෙරෙන්නකි. එක්සත් රාජධානිය පදනම් කරගත් ප්‍රගතිශීලී කණ්ඩායම් හා ඒහා බැදුණු ‘හරිමග’ සමාජ ජාලය ද ජාත්‍යන්තරව මෙයට සහාය දක්වමින් සිටී. 


මේ ව්‍යාපෘතියේ මෙහෙයුම සරල එකක් වූවත් එය සංකේතාත්මකව බලවත් එකකි. දකුණු ලංකාවේ වෙසෙන පරිත්‍යාගශීලීන්ට දෙහිවල අත්තිඩියේ පිහිටි මධ්‍යස්ථනයට ඔබ් පරිත්‍යාග කරන, අධ්‍යයන ග්‍රන්ථ, සාහිත්‍ය, ආගමික සහ ළමා පොත් බාර ගැනීම ආරම්භ කර තිබේ. පසුව එම පොත් සංවිධායකයන් විසින් උතුරේ පාසල්, සරසවි, මහජන පුස්තකාල, හින්දු හා ඉස්ලාමීය ආගමික මධ්‍යස්තානවලට බෙදා හැරෙනු ඇත. 


1981 යාපනය ගිනිලෑම ගැන පුළුල් ලෙස ලියා ඇති නන්දන වීරත්නට අනුව දකුණු ආසියාවේ සිදු වූ වඩා බලවත් සංස්කෘතික විනාශයන්ගෙන් එකක් ලෙස සැලකෙන යාපන පුස්තකාලය ගිනි තැබීම වෙනුවෙන් කෙරෙන පරිත්‍යාග හුදු පුණ්‍ය කටයුත්තක් නොවේ. එය අතිශයින්ම පෞද්ගලික දෙයකි. දැනුම බෙදා ගැනීමෙන් මානව බැදීම ප්‍රතිස්ථාපනය කිරීමකි. 


“මෙය පොත් පිළිබඳ කාරණාවක්ම නොවේ,” ව්‍යාපෘතියේ සම්බන්ධීකාරකයෙක් කියා සිටියේ ය. 

 “එය වැදගත් ආරම්භයකි. එකිනෙකා කෙරේ ඇති ගෞරවය සහ බුද්ධිමය අඛණ්ඩතාව යථා තත්ත්වයට පත් කිරීමේ උත්සාහයකි.”


මේ බිමේ දී තමන් ආනාරක්ෂිත බව දැනෙන සෑම ජන කණ්ඩායමකටම මේ ව්‍යාපෘතිය සහනයන් ගෙන දෙනු ඇත. ඒ අර්ථයෙන් ගත්විට එය සමාජ - දේශපාලන වැඩ සටහනකි. තමන් ද තමිල්නාඩු පාලනයට ගන්නෑයි ඇතැම් මහජන නියෝජිතයන් ඉල්ලා සිටින මොහොතක මේ ව්‍යාපෘතිය ජාතික දේශපාලන වැඩපිළිවෙලකට මඟ සලසයි. රට, ජාතික ජනතා බල පරිපාලනයක් යටතේ වාර්ගිකත්වය වෙනුවට ජාතිකත්වය ස්ථාපිත කරන්නට උත්සාහ කෙරෙන මොහොතක ජන සමාජයේ හෘද සාක්කියෙන් මෙවන් ව්‍යාපෘති සිය ගණනක් රටට අවශ්‍ය වී ඇත. 

 


මෙම මුලපිරීමේ දී ආගමික ස්ථන ද එකතු කර ගැනීමේ උපායමාර්ගික සියුම් බවක් ද ඇත. පන්සල්, කෝවිල් සහ මුස්ලිම් පල්ලි  ද සම්බන්ධ කර ගැනීමෙන් මේ වැඩසටහන හිතාමතාම එය ඒ, ඒ,  ප්‍රජාවන්ගේ සමාජ ව්‍යුහය තුළට කාවදිමින් සංස්කෘතික රේඛා හරහා දැනුම බෙදා ගනු ඇත. 


පරිත්‍යාග දැනට පහත ලිපිනයට බාර ගැනේ. 

17/2, 

3 වන පටුමග, අත්තිඩිය, දෙහිවල


උනන්දුවක් දක්වන දායකයින්ට පහත ඊමෙල් හරහා සම්බන්ධීකරණය තනා ගැනීමටත් හැකියි. 


nandanaweerarathne60@gmail.com

harimaga-comments@protonmail.com

Colombowire@gmail.com

Post a Comment